පුද්ගලයින් ලියාපදිංචි කිරීම හා හැඳුනුම්පත් නිකුත් කිරීම 1954 වසරෙහි ඉන්දු - ලංකා ගිවිසුම අනුව බිහිවූ සංකල්පයකි. 1961 වසරේ බලයට පත් සිරිමාවෝ ආර්.ඩි. බණ්ඩාරනායක මැතිනියගේ රජය යටතේ මෙම කරුණ පිළිබඳව සලකා බලන ලද අතර, අවශ්‍ය නීති සම්පාදන කටයුතු ආරම්භ කරන ලදී. ඒ අනුව 1962 වසරේ පුද්ගලයින් ලියාපදිංචි කිරීම පිළිබඳ පනත පළමු වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. නමුත් එම පාර්ලිමේන්තු කාල සීමාව තුළ පනත සම්මත කර ගැනීමට නොහැකි විය. ඉන් අනතුරුව 1968 වසරෙහි ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමා විසින් එම පනත ඒ ආකාරයෙන්ම නැවත වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එය 1968 හි අංක 32 දරණ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත වශයෙන් සම්මත විය. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත 1971 අප්‍රේල් 05 දින සිට ක්‍රියාත්මක කිරීම ආරම්භ විය. පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීම සඳහා 1971/1972 වසර සඳහා ඇස්තමේන්තු මගින් ප්‍රතිපාදන වෙන් කරන ලද අතර, 1971 ඔක්තෝබර් 01 දින සිට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වීම ආරම්භ කරන ලදී.

1968 අංක 32 දරණ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් 1972 වසරේ සිය වයස අවුරුදු 18 ඉක්මවූ ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල පදිංචිකරුවන් ලියාපදිංචි කිරීම හා හැඳුනුම්පත් නිකුත්කිරීම ආරම්භ කරන ලද අතර, එම පනතට කරන ලද සංශෝධනයන් අනුව 1981 වසරේ සිට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වයස අවුරුදු 16 දක්වා අඩුකරන ලදී. මහජනතාවට තම අයදුම්පත් තමන් පදිංචි ප්‍රදේශයෙහි ග්‍රාම නිලධාරී මගින් ඉල්ලුම් කල හැකි අතර, එම අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් වරුන් මගින් මෙම දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරේ. එමෙන්ම පාසල් සිසුන්ට තම විදුහල් පති මගින්ද, වතු පදිංචි කරුවන්ට වතු අධිකාරී මගින් ද , අයදුම්පත් ඉල්ලුම් කිරීමට අවස්ථාව සලසා දී ඇත. දෙපාර්තමේන්තුව ආරම්භකරන ලද 1972 වසරේ සිට 2004 වසර අවසානය දක්වා මිලියන 20.5 ට අධික හැඳුනුම්පත් සංඛ්‍යාවක් නිකුත් කර ඇත. වර්ණ ඡායාරූප සහිත හැඳුනුම්පත් නිකුත් කිරීම 2005/07/01 දින සිට ආරම්භ කරන ලදි. ඡන්ද දායකයකු විසින් ඡන්ද විමසීමකදී අනන්‍යතා ලේඛණයක් ඉදිරිපත් කලයුතු බවට 2004 අංක 14 දරණ ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත යටතේ විධිවිධාන සලස්වා ඇති බැවින් , මෙතෙක් හැඳුනුම්පත් ලබාගෙන නොමැති බවට ඇස්තමේන්තු ගතව ඇති ලක්ෂ 25 ක් පමණ වන ඡන්දය ප්‍රකාශකිරීමට හිමිකම් ඇති තැනැත්තන් සඳහා කඩිනමින් හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩසටහනක් දෙපාර්තමේන්තුව විසින් දැනට ආරම්භ කර ඇත. මහජනයාට කාර්යක්ෂම සේවයක් සැපයීමේ එවන් පසුබිමක සිට ආයතනික කටයුතු සිදුවන ආකාරය පිළිබඳ දත්ත හා උපදෙස් ලබාදීමේ කාලීන අවශ්‍යතාවය සලකා බලා මෙම අත්පොත එළිදැක්වීමට පියවර ගෙන තිබේ.
 

කාර්යය මණ්ඩලය
 
Name Service
ටී.බී.එම්. ඒකනායක මහතා 01/10/1971-13/04/1977
පී.පී.එස්.යූ. ද සිල්වා මහතා 14/04/1977-30/11/1982
සී.ඩබ්. සිරිවර්ධන මහතා 01/12/1982-12/08/1984
එම්.පී.ඩී.සී. ප්‍රනාන්දු මහතා 13/08/1984-30/09/1987
බන්දුල කුලතුංග මහතා 01/10/1987-30/06/1993
ඩී.ඒ. සමරවීර මහතා 01/07/1993-30/03/1994
ආර්.ජේ.වී. රණසිංහ මහතා 31/03/1994-19/07/2004
පී.බී. අබේකෝන් මහතා 03/08/2004-10/04/2005
එච්.කේ. ගීතසේන මහතා 11/04/2005-06/02/2006
ඒ.ජී. ධර්මදාස මහතා 20/02/2006 to date